Sunday, September 8, 2024

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්




අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසුවේ අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා ද සිදුවී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

පසුගිය දිනවල පැවති තද සුළං, ගංවතුර හා පස්කඳු කඩාවැටීම් වැනි ස්වභාවික ආපදාවන් නිසා හානි වූ නිවාස නැවත ඉදිකර දීම හෝ උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් ලබා දීම සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

ඒ අනුව පූර්ණ වශයෙන් හානි වූ නිවාස සඳහා ප්‍රතිලාභීන්ගේ එකඟතාවය මත යම් උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් ලබා දීමට හෝ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නිවාස කඩිනමින් ඉදිකර දීමටත්, අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා  සිදුවී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබා දීමටත් මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ස්වභාවික ආපදා හේතුවෙන් පූර්ණ  හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් ලබා දෙන ලෙසට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක එහිදී අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නා.