Sunday, September 8, 2024

General line - 0115112241

සම සත්කාරකත්වය දැරූ අමෙරිකා එක්සත් ජනපදය පැරදූ කොදෙව්වන්ට සුපිරි 08 දෙනාගේ වටයේදී ජයක්




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දරණ රටවල් දෙක අතර සුපිරි 08 දෙනාගේ වටයේ පැවති තරගය අමෙරිකා එක්සත් ජනපදය පරදා කඩුලු 09කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128ක් රැස්කළා.

අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ක්‍රීඩකයින් කිසිවෙකුටත් ලකුණු 30 සීමාව පසුකර යාමට කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී අන්ඩි්‍ර රසෙල් සහ රොස්ටන් චේස් කඩුලු 03 බැගින් දවාගත්තා.

ජයග්‍රාහී ලකුණු 129ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 05ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 130ක් රැස්කරමින් තරගය ජයගනු ලැබුවා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ෂායි හෝප් පන්දු 39කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 82ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 08ක් සහ හතරේ පහර 04ක් ඇතුලත් වුණා.

අනෙක් අන්තයෙන් නොදැවී පන්දුවට පහරදුන් නිකලස් පූරන් පන්දු 12කදී ලකුණු 27ක් රැස්කළේ හයේ පහර 03ක් සහ එක් හතරේ පහරක් සමඟින්.

ජොන්සන් චාල්ස් ලකුණු 15ක් රැස්කර සිටියදී දැවී ගියා.

මේ අතර සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.