Sunday, June 30, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමට අදාළ පෙත්සමක් කඩිනමින් විභාගයට ගැනීමට තීරණයක්

උදය කුමාර 




අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධූර සඳහා විනිසුරුවරුන් නම් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කඩිනමින් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

අදාල තහනම් නියෝගය ඉවත් කිරීමේ හෝ වෙනස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන පාර්ශව විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් පසුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. 

මෙම අතරමැදි පෙත්සම් අද එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙහිදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි උපුල් ජයසූරිය සහ ඩිනාල් පිලිප්ස් යන ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ  කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදකවන අතුරු නියෝගය සම්බන්ධයෙන් වර්තමානයේ මතුවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන තම සේවා දායකයින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව සඳහන් කළා.

එම අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කර තිබූ නීතිඥ පතිරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සඳහන් කළේ මෙම නඩුකරයට පාදක වන අතුරු තහනම් නියෝගය ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අතරමැදි පෙත්සම්  සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් මෙම නඩුකරය කඩිනමින් විභාග කොට අවසන් කර තීන්දුවක් ලබාදීම මෙම අවස්ථාවේදී යෝග්‍ය බවත් දන්වා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු  වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද අධිකරණය හමුවේ සඳහන් කළේ දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

කරුණු විභාගය අතරතුර විවෘත අධිකරණයේ ප්‍රකාශයන් සිදුකළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන එස්.තුරෙයි රාජා සහ නවාස් යන මහත්වරු සඳහන් කළේ  ජනාධිපතිවරයා පාලනය කිරීමට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් අත්හිටුවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

මෙම නඩු විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන අදාළ අතුරු නියෝගය නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළ බවත් එම විනිසුරුවරුන් පෙන්වා දුන්නා.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව අදාල පෙත්සම කඩිනමින් විභාගයට ගැනීමට තීන්දු කළ  විනිසුරු මඩුල්ල නඩුවට අදාල විරෝධතා තිබේනම් ඒවා ජුලි මස 05 වනදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළා. 

ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජූලි මස 12 වන දාට පෙර ගොනු කරන ලෙසත් ලිඛිත දේශන තිබේ නම් ඒවා ජූලි මස 19 වනදාට පෙර ගොනු කරන ලෙසත් විනිසුරුවරු පාර්ශවකරුවන්ට නියෝග කර සිටියා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය ජූලි මස 25 වනදා සිදු කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා.