Sunday, June 30, 2024

General line - 0115112241

පවිත්‍රාගේ ගැසැට්ටුවකට එරෙහිව වාරණයක්

උදය කුමාර 




විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින්  ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, වනජීවී ආරක්ෂක සංගමය හා පාරිසරික පදනම විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට අවසර දෙමින්.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා. 

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විල්පත්තුව ආශ්‍රිතව පිහිටි වෙඩිතලතීවූ රක්ෂිත වනාන්තර කලාපයේ හෙක්ටයාර 168 ක්  ඉස්සන් වගාව ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට සූදානම් වන බවට පෙත්සම්කරුවන්ට තොරතුරු ලැබී ඇති බවයි.

මීට අදාලව වනජීවී අමාත්‍යවරිය විසින් ඉකුත් මැයි මස 06 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස සැලකෙන මෙම වනාන්තර කලාපය හෙළි පෙහෙළි කිරීමෙන් විශාල පාරිසරික හානියක් සිදුවන අතර එය සුළුවෙන් තැකිය නොහැකි බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාල පෙත්සම විභාගයට ගැනීමට ද  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අවසර ලබා දුන්නා. 

ඉන් අනතුරුව වනජීවී අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණු අතර එම නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.