Sunday, September 8, 2024

General line - 0115112241

රහස් රැසක් හෙළි කර ලොව කැළඹූ විකිලීක්ස් නිර්මාතෘට වසර 14කට පසු නිදහස




අමෙරිකාව ප්‍රමුඛ ලොව පුරා රැසක රහස් තොරතුරු ලොවට හෙළි කරමින් දැඩි ආන්දෝලනයක් ඇති කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් වසර 14කට පසු පළමු වරට අද සිය මව් රට වන ඕස්ට්‍රේලියාවට පැමිණියා.

ඒ, ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි එල්ල වූ චෝදනාවලින් ඇමෙරිකානු අධිකරණයක් ඔහුව අද නිදහස් කිරීමෙන් අනතුරුවයි.

විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ජුලියන් අසාන්ජ් මෙම අනාවරණය පළමුවරට සිදු කරන්නේ 2010 වසරේයි.

ඔහුගේ අනාවරණයට ශ්‍රී ලංකාව ඇතුළු ලොව ප්‍රධාන රටවල් රැසක තොරතුරු ඇතුළත් වුණා.

එම අනාවරණය ලොව පුරා දැඩි කැළඹීමක් ඇති කළ අතර අමෙරිකාව ඔහු අත්අඩංගුවට ගැනීමටයි තීරණය කළේ.

පසුව ඔහු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව යටතේ 2012 සිට 2019 අප්‍රේල් මාසය දක්වා එහි රැඳී සිටියා.

එහෙත් 2019 අප්‍රේල් මාසයේ තානාපති නිලධාරීන් සමඟ ඇති වූ ගැටුමකින් පසු  එක්වදෝර් තානාපති තානාපති කාර්යාලය විසින් අසාන්ජ් බ්‍රිතාන්‍ය පොලිසියට බාර දුන්නා.

ඉන්පසු ඔහු මේ දක්වා රැඳී සිටියේ බ්‍රිතාන්‍යයේ බෙල්මාර්ෂ් අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිරගතවයි.

ඇමෙරිකාවේ යුද රහස් හෙළි කළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව අද නිදහස ලැබූ ජුලියන් අසාන්ජ් ඕස්ට්‍රේලියාවට පැමිණි අතර ඔහු පිළිගැනීම සඳහා උත්සව පවා සංවිධාන කර තිබුණා.

එහෙත් ඔහුට අවසරයකින් තොරව යළි කිසිදා අමෙරිකාවට යාමට හැකි වන්නේ නැහැ.