Sunday, September 8, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව ඉතිහාසය අලුත් කරයි




ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයට පිවිසීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ, 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයේදී ඇෆ්ගනිස්ථානය කඩුලු 09කින් පරාජය කරමින්.

දකුණු අප්‍රිකාව මෙන්ම ඇෆ්ගනිස්ථානයද මෙම තරඟයට පිවිසියේ ප්‍රථම වරට ලෝක කුසලානයක අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින්.

දකුණු අප්‍රිකාව මීට පෙර අවස්ථා 07කදී අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා තිබුණද ඉන් කිසිවක් ජය ගැනීමට හැකි වී තිබුණේ නැහැ.

ඇෆ්ගනිස්ථානයද අවසන් පූර්ව තරඟයකට පිවිසියේ ඉතිහාසයේ පළමු වරටයි. 

පිතිකරණයට තරමක් අපහසු ටි්‍රනිඩෑඩ් ඇන්ඩ් ටොබැකෝ තණ තීරුවේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට හිමි වුවද සියලු පිතිකරුවන් ලකුණු 56කට දැවී ගියේ පන්දුවාර 11යි පන්දු 05ක් තුළයි.

එය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයක අවසන් පූර්ව තරඟයකදී කිසියම් කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමද පන්දුවාර විස්සයි විස්ස පිටියේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වනවා. 

ඇෆ්ගන් සිහිනය බිඳ දැමූ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් බිඳ වැටුණු කඩුලු 10න් 07ක්ම තමන් සතු කර ගත්තා.

මාර්කෝ ජෙන්සන් ලකුණු 16කට කඩුලු 03ක් බිඳ හෙලූ අතර කගිසෝ රබාඩා හා ඇන්රිච් නොකියා අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා. ටැබ්රයිෂ් ෂම්සි ලකුණු 06කට කඩුලු 03යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 08යි පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් රැස්කරමින් තරඟය ජය ගත්තා.

බිඳවැටුණු කඩුල්ල දවා ගත්තේ ෆසාල්හක් ෆරෝකි විසින්.

ඒ අනුව ඔහු මෙවර තරඟාවලියේ බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 17ක්.

එය කිසියම් පන්දු යවන්නෙකු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක බිඳ හෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවයි.

ඔහු මෙලෙස බිඳ හෙලුවේ 2022 ලෝක කුසලානයේදී කඩුලු 16ක් දවා ගනිමින් වනිඳු හසරංග බිහි කර තිබූ වාර්තාවයි. 

මේ අතර 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්වව තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා.

එම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 29වනදා දකුණු අප්‍රිකාව සමග අවසන් මහා තරඟයට එක් වනවා. 

දකුණු අප්‍රිකාව මෙවර අවසන් මහා තරඟයට පිවිසියේ අපරාජිතවයි.

යම් හෙයකින් ඔවුන්ට ලෝක කුසලනය දිනාගත හැකි වුවහොත් අපරාජිතව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනා ගන්නා ලොව පළමු කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව පත් වනු ඇති.