Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාව විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට




මෙවර පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.      

ඒ, එංගලන්ත කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 68කින් ජය ගනිමින්. තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 171ක් රැස් කළා.

ඉන්දීය ලකුණු පුවරුව 19ක් ලෙස සටහන්ව තිබියදී පළමු කඩුල්ල ලෙස විරාත් කෝලි දැවී ගියා.

ඔහු රැස් කළේ ලකුණු 09ක් පමණයි.

අනතුරුව රිෂාබ් පාන්ට් ලකුණු 04ක් රැස්කර සිටියදී දැවී ගියා.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා පන්දු 39කදී ලකුණු 57ක් රැස්කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා.

සූර්ය කුමාර් යාදෙව් ලකුණු 47යි. හර්ඩික් පාන්ඩයා පන්දු 13කදී ලකුණු 23ක් රැස්කළේ හයේ පහර 02ක් සහ එක් හතරේ පහරක් ද සමඟින්. රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 17යි.

පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්ඩන් කඩුලු තුනක් දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 172ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දු වාර 16යි පන්දු 04ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 103ක් පමණයි.

ලකුණු 49ක් තුළ එංගලන්ත මුල් පෙළ පිතිකරුවන් පස්දෙනා දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව නායක ජෝශ් බට්ලර්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 23ක් පමණයි.

හැරී බෲක් ලකුණු 25යි. සෙසු එංගලන්ත පිතිකරුවන් කිසිවෙකුටත් ලකුණු 22 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඇක්සාර් පටෙල් සහ කුල්දීප් යාදෙව් කඩුලු කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

ජස්ප්‍රිට් බුම්රාහ් ද කඩුලු 02ක් දවා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ඉන්දියාව ප්‍රතිවාදී දකුණු අප්‍රිකාව සමඟ තරග වැදීමට නියමිතයි.

හෙට දිනයේ මෙරට වේලාවෙන් රාත්‍රී 08.00ට තරගය ආරම්භ වනු ඇති.