Sunday, September 8, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානුවන් හඬවමින් වසර 17කට පසු ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනී




විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වසර 17කට පසු ලෝක ශූරයන් වීමට ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, තියුණු තරගයකින් පසු දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 07කින් පරාජයට පත් කරමින්.

තරගය බාබෙඩෝස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 08ට ආරම්භ වුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 176ක් රැස්කළා.

තරගයේ ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කර අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 03 ලකුණු 34ක් ඇතුළත දී දවා ගැනීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වුණා.

නායක රෝහිත් ශර්මා පළමු කඩුල්ල ලෙස ලකුණු 09කට දැවී ගිය අතර දෙවන කඩුල්ල ලෙස රිශාබ් පාන්ටිට ද එකදු ලකුණක්වත් නොලබා දැවී ගියා.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු වන සූර්යකුමාර් යාදව් ලකුණු 03ක් ලබා සිටියදී තුන්වන කඩුල්ල ලෙස දැවී ගියා.

ඉන්දීය කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්ව තිබියදී පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා ගනිමින් අංක 05 පිතිකරු ලෙස පිටියට පැමිණි අක්සාර් පටෙල් සහ විරාත් කෝලි හතරවන කඩුල්ල සඳහා ලකුණු 72ක සබඳතාවයක් පවත්වමින් ඉන්දීය කණ්ඩායමේ කඩාවැටුණු ඉනිම නැවත සවිමත් කිරීමට සමත් වූ අතර අක්සාර් පටෙල් ලකුණු 47ක් ලබා සිටියදී ඉන්දීය කණ්ඩායමේ හතරවන කඩුල්ල ලෙස දැවී ගියා. 

ඉන්දීය කණ්ඩායමේ එක් අන්තයක් ආරක්ෂා කරමින් ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි විරාත් කෝලි ඉන්දීය ඉණිමේ සාර්ථකම පිතිකරුවා වෙමින් පන්දු 59ක් තුළදී හයේ පහරයවල් 02ක් සහ හතරේ පහරවල් 06ක් සමගින් ලකුණු 76ක් ලබා සිටියදී දැවී ගියා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනායේදී කඩුලු 07ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 177ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් පමණක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 169ක් පමණයි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුලු 03 ලකුණු 70ක් තුළදී දවා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුණා.

තරගයේ ආරම්භයේ සිටම විටින් විට කණ්ඩායම් දෙකටම ජයග්‍රාහී බලාපොරොත්තු දෙපිලටම ඇතිවන ආකාරයට තරගය දෝලනය වූ අතර තරගයේ පහලොස් වැනි පන්දු වාරයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හෙන්රිච් ක්ලාසෙන් ලකුණු 21ක් ලබා ගනිමින් නැවතත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලානයේ ජයග්‍රාහී ඉලක්කයට ළඟා කළ අතර ලකුණු 52ක් ලබා සිටියදී හෙන්රිච් ක්ලාසෙන් දැවී ගියා.

ඉන් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු 28කදී ලකුණු 27ක් පහසු ඉලක්කයක් තිබුණ ද ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට අවසන් පන්දු වාරයේදී ලකුණු 16ක ඉලක්කයක් හිමි වුණා.

20වන පන්දු වාරය ක්‍රියාත්මක කිරීමට පන්දුව අතට ගත් හාර්තික් පාන්ඩයා පළමු පන්දුවෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන ඩේවිඩ් මිලර් දවා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08ක් පමණක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 169ක් පමණයි.

ලකුණු 07ක් සුපිරි ජයක් හිමිකරගත් ඉන්දීය කණ්ඩායම වසර 17කට පසු නැවතත් විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තා. ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් අපරාජිතව ලෝක කුසලානය දිනාගත් පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

තරගාවලියේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බුම්රා දිනාගත් අතර තරගයේ වීරයා සම්මානය විරාත් කෝලි දිනාගත්තා.