Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා යොවුන් මළල ක්‍රීඩා තරු - තරුෂි සහ දිල්හානිට ඔලිම්පික් වරම්




මේ වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා යොවුන් මළල ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වී තිබෙනවා.

තරුෂි සුදුසුකම් ලබා ඇත්තේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන්.

කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව යටතේ නදීෂා ඔලිම්පික් වරම් දිනාගෙන තිබෙනවා.

ඔවුන් ඒ සදහා ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අවස්ථාව උදා කර ගැනීම විශේෂත්වයක්. 

ඒ අනුව ශ්‍රේණිගත ලකුණු ක්‍රමයට අනුව පැරිස් ඔලිම්පික් උළෙල සදහා හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නිර්දේශ කර ගන්නා ක්‍රීඩිකාවන් 32 දෙනා තෝරා ගැනෙනවා.

ඒ අතරින් නදීෂා දිල්හානි ලේකම්ගේට හිමිව ඇත්තේ 26 වැනි ස්ථානයයි.

පැරිස් ඔලිම්පික් උළෙල සදහා මීටර් 800 කාන්තා ඉසව්වෙන් ලොව පුරා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබාගෙන ඇති අතර තරුෂි කරුණාරත්න එම ක්‍රීඩිකාවන් අතර 45 වන ස්ථානයට පත්ව තිබෙනවා. 

තරුෂි කරුණාරත්නට මෙවර ඔලිම්පික් වරම් ලැබේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවතුණේ අවිනිශ්චිත තත්ත්වයක්.

ඒ, ඇගේ සිහිනය සැබෑ කරගැනීම සඳහා අවසන් මොහොත වන තෙක්ම ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරඟවලට සහභාගී වීමට ඇයට සිදු වීම හේතුවෙන්. 

එසේ සිදු වූයේ මෙරට මළල ක්‍රීඩා බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා බවටයි බොහෝ පාර්ශව චෝදනා කළේ.

තරුෂි කරුණාරත්නට මෙවර ඔලිම්පික් වරම් දිනා ගැනීම සඳහා පරිසාධන මට්ටම සපුරා ගැනීමට ඇයට තිබූ අවසන් අවස්ථාව වූයේ ඉකුත් දා පැවති ජාතික මහ ක්‍රිඩා උළෙලයි.

එහෙත් එහිදී ඇය සහභාගි වූ ඉසව්ව වැසි තත්ත්වයක් මධ්‍යයේ පැවැත්වීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබුණේ ඇගේ පුහුණුකරුගේ ඉල්ලීම පවා ඉවත දමමින්.

ඒ හේතුවෙන් ඇයට හොඳ තරඟ නිමි කාලයක් වාර්තා කිරීමට නොහැකි වීමත් සමගයි තරුෂි කරුණාරත්නට මෙවර ඔලිම්පික් වරම් ලැබේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතු වුණේ.

කෙසේවෙතත් පසුව පැවති තරඟවලින් තරුෂි කරුණාරත්න ඔලිම්පික් පරිසාධන මට්ටම සපුරා ගැනීමට සමත් වී තිබෙනවා.