Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාවේ ආගමික උත්සවයක ඛේදවාචකයක් - කාන්තාවන් 108ක් සහ ළමුන් 07ක් මරුට




ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් නගරයේ පැවැති හින්දු ආගමික උත්සවයක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 116 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඉන් 108 දෙනෙක් කාන්තාවන්. කුඩා ළමුන් 07 දෙනෙකුද මිය ගොස් තිබෙනවා.

උත්සවය අවසානයේ හටගත් තෙරපීමකින් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

තෙරපිම හටගෙන ඇත්තේ වාර්ෂිකව පැවැත්වෙන සත්සංග් උත්සවය අතරතුරදීයි.

මෙම උත්සවය සඳහා වාර්ෂිකව දහස් ගණනක් සහභාගී වන අතර මෙවර 80,000කට වැඩි පිරිසක් සහභාගී වනු ඇති බවටයි මීට පෙර අනුමාන කර තිබුණේ.

කෙසේවෙතත් අපේක්ෂා කළ පිරිසට වඩා වැඩි පිරිසක් ඊට සහභාගි වී ඇති බව සංවිධායකයින් පවසනවා. 

ඇසින් දුටුවන් පවසා ඇත්තේ උත්සවය අවසන් වීමත් සමග දූවිලි වලාවකින් ප්‍රදේශය වැසී ගිය බවත් ඉන් පසුව බොහෝ පිරිසක් මිය ගොස් සිටි අයුරු දුටු බවත්ය.

ඉන්දියාවේ ආගමික උත්සවවල මෙවැනි සිදුවීම් වාර්තාවන අතර 2013 වසරේ ආගමික උත්සවයකදී පුද්ගලයින් 115දෙනෙක්ද 2018 වසරේදී ආගමික උත්සවයකදී පුද්ගලයින් 60 දෙනෙකුද මිය ගියා.