Saturday, October 5, 2024

General line - 0115112241

දයාසිරි මරදාන පොලිසියට

එන් ඒ ඩබ් නිරෝෂන්-නිහාල්සිරි ගම්ලත




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මරදාන පොලිසිය හමුවේ අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, පක්ෂ මූලස්ථානය ඉබි යතුරු දමා වසා තැබීම හේතුවෙන් එහි පැමිණි තමන්ට ඊයේ දිනයේ වැඩභාර ගැනීමේ කටයුතු නිසියාකාරව සිදුකර ගැනීමට නොහැකි වූ බව පවසමින්.

පක්ෂ මහලේකම් ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉවත් කිරීමට එවකට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණා.

එම තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර ඉන් අනතුරුව වැඩභාර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එලෙස පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටියා.

එහිදී තමන්ට නිසියාකාරව වැඩභාර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිසියට පැමිණ, පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල මහලේකම්වරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බව එම පක්ෂයේ හිටපු වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා.

කරවනැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි. 

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව ද අදහස් පළ කළා.