Saturday, October 5, 2024

General line - 0115112241

චීනයට යටත් නොවන බව තායිවානය කියයි




“තායිවානය චීනයේ පූජනීය ප්‍රදේශයක්” බවට චීන ජනාධිපති ෂී ජින්පිං කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් තායිවානයේ විදේශ අමාත්‍යාංශය චීනයට යටත් නොවන බව පැහැදිලි කර තිබේ.

මාධ්‍ය හමුවක් අමතමින් තායිවානයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ජෙෆ් ලියු අවධාරණය කළේ තායිවානය කිසි විටෙකත් මහජන චීන සමූහාණ්ඩුව විසින් පාලනය කර නොමැති බවයි.

සැප්තැම්බර් 30 වැනි දින සංවත්සරයට ආසන්න දින පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයකදී චීන ජනාධිපති ෂී ජින්පින් කියා සිටියේ තායිවානය “චීනයේ පූජනීය ප්‍රදේශයක් බවත්, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සිටින ජනතාව රුධිරයෙන් සම්බන්ධ වී ඇති බවත්, රුධිරය ජලයට වඩා ඝන බවත්ය.”  

සිය කතාව අතරතුර, චීන ජනාධිපතිවරයා එක් චීනයක් ප්‍රතිපත්තිය සහ "1992 සම්මුතිය" පිළිපැදිය යුතු බව අවධාරනය කළ අතර තායිවානයේ ස්වාධීනත්වයට විරුද්ධ බවත් චීනය තායිවානය යලි අත්කර ගන්නා බව ද පැවසීය.

ඊට ප්‍රතිචාර වශයෙන්, තායිවානයේ මිලියන 23ක පුරවැසියන් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා පද්ධතියක් ආරක්ෂා කරන බව ජෙෆ් තහවුරු කළ බව තායිවාන පුවත් වාර්තා කළේය.

තවද, තායිවානයේ ස්වෛරීභාවය උල්ලංඝනය නොකළ යුතු බවත්, එය ඈඳා ගැනීමට විරුද්ධ බවත්, රටේ අනාගතය තායිවාන ජාතිකයන් විසින් තීරණය කළ යුතු බවත් ඔහු පැවසීය