Sunday, October 6, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය පාලනය වෙනුවෙන්  දැඩී නීති ගෙන එන බව ජනපති කියයි 




රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවත්, ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදී ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් බවත්,  ලබන අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “නීති ගරුක රටක්' යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ පැවති  ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ  මත්ද්‍රව්‍යවලට අදාළ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥ මහත්වරුන් ද ඉදිරිපත්වීම පුදුමයට කරුණක් බවයි. 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

" 90  දශකයේ දී නිවාඩුවක් සඳහා මම ස්විස්ටර්ලන්තයට ගියා. මම නැවති සිටියේ මගේ පියාගේ මිත්‍රයෙකුගේ නිවසේයි. 

මම එම නිවසට ගිය විට එතුමා මට කිව්වා අද සන්ධ්‍යාවේ පොලිසියේ කෙනෙක් ඔබතුමා හමු වෙන්න එනවා කියලා.

මම ඇහුව ඇයි කියලා. ඔහු කිව්වා නැහැ අපේ සිරිතක් තිබෙනවා කවුරුහරි පිට ගමකින් අපේ ගම්වලට, නගරයට ආ විට අප එය පොලිසිට වාර්තා කිරීම අවශ්‍යයි කියලා. 

එම රටවල මෙම වැඩපිළිවෙළ හැමදාම ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි පිටින් එනවා නම් ඔවුන් ගැන සොයා බලනවා. 

එවිට එම ප්‍රදේශවලට ත්‍රස්තවාදීන්ට පැමිණීම අසීරුයි. ඒ වගේම මත්ද්‍රව්‍ය ගෙන ඒමට ද අසීරුයි. අද අප මේ ආරම්භ කර තිබෙන්නේ එම ප්‍රජා පොලිස් ක්‍රමයයි. 

එංගලන්තයෙත් මෙම ක්‍රමය ක්‍රියත්මක වෙනවා. හැම ගෙදරකම ඉන්නේ කවුද කියලා පොලිසියේ අය දන්නවා. යුරෝපීය රටවල් ගණනාවක ද මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

නමුත් අද ලන්ඩන් නුවර ඇතුළු යුරෝපයේ නගර කිහිපයක මෙය බිඳ වැටී තිබෙනවා. 

ඒ නිසා හැමතැනම සොරකම් සිදුවන අතර මත්ද්‍රව්‍ය ජාවාරම ද සිදු වෙනවා. 

මේ අයුරින් නීතිය හා සාමය පාලනය කර ගැනීමට නොහැකිවීම රිෂී ෂුනාක්ගේ ආණ්ඩුව පැරදීමට එක හේතුවක් වුණා.

ඔවුන් කියන්නේ ආණ්ඩුවේ පළමු කටයුත්ත නීතිය හා සාමය ආරක්ෂා කිරීම කියලයි.

අපිත් රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර අරගත්තා. 

ඒත්  පසුගිය  2021- 2022 වසරවල මේ රටේ නීතිය හා සාමය කඩා වැටුණා. ගෙවල් විනාශ කළා, ගෙවල්වලට ගිනි තිබ්බා. 

මේ විදියට නීතිය හා සාමය කඩා වැටෙද්දි නැවත රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අපට සිදු වුණා. 

රට තුළ සිදුවූ විනාශකාරි ක්‍රියාවන් පසුපස මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් ද  සිටියා

ඒ නිසා රටේ ආර්ථිකය හදන ගමන් මත්ද්‍රව්‍ය පාලනය කිරීමටත් අපට සිදු වුණා. 

මත්ද්‍රව්‍ය පාලනය කිරීම වෙනුවෙන් මෙම ප්‍රජා පොලිස් කමිටු ඇති කර තිබෙනවා. 

මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන විට මෙය සාර්ථක වෙයිද, නැද්ද කියා ප්‍රශ්නයක් තිබුණා. නමුත් අද මෙය සාර්ථක වැඩපිළිවෙළක් බවට පත්ව තිබෙනවා. 

අද බොහෝ ප්‍රදේශවල සොරකම් සිදුවන්නේ මත්ද්‍රව්‍ය නිසා. 

මත්ද්‍රව්‍යවලට අවශ්‍ය මුදල් සොයා ගන්න ඔවුන් සොරකම් කරනවා. 

මෙම තත්ත්වය ඉදිරියට යන්න දෙන්න බැහැ. අද ඇෆ්ගනිස්ථානයේ සිට අපේ රටට මත්ද්‍රව්‍ය  පැමිණෙනවා.

 පාකිස්ථානය, ඉන්දියාව මේ සියලු රටවලට මෙම මත්ද්‍රව්‍ය එනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වන්නේ මුහුදු මාර්ගයෙන්. 

ඒ නිසා අපට දැන් නාවික හමුදාව මේ කටයුතු වෙනුවෙන් යෙදවීමට සිදුව තිබෙනවා. කලාපයේ සියලු රටවල් එක්වෙලා මීට විසදුමක් සෙවිමට දැන් තීරණය කර තිබෙනවා. 

ඒ සමඟම අප ගම්වල මෙම වැඩසටහන  ආරම්භ කර තිබෙනවා. සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන අතරම මත්ද්‍රව්‍ය ජාවාරම ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. 

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් විනාශ වෙන්නේ අපේ අනාගත පරපුරයි. ඒ නිසා මෙහිදී අප සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. 

ඒ පිළිබඳ පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. 

එහිදී ගමේ පන්සල ඇතුළු ආගමික ස්ථාන වෙත විශේෂ කාර්යයක් පැවරෙනවා. 

ඒ වගේම පාසල තුළ මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය යුතුයි. 

ඇතැම් සිසුන් පාසල්වලට මත්ද්‍රව්‍ය ගෙන එනවා. 

ඒ නිසා මත්ද්‍රව්‍යවල එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් මම මෙම කමිටුවලින් ඉල්ලා සිටිනවා. 

මෙහිදී අකමැත්තෙන් හෝ ඇතැම් අය නීතිය යටතේ ර‍ඳවා ගැනීමට මට සිදුව තිබෙනවා. 

මෙම තිබෙන නීති ප්‍රමාණවත් නැහැ. තව අලුත් නීති අවශ්‍යයි.

සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. එච්චර දුර යාමට අපට අවශ්‍ය නැහැ. 

නමුත් මේ අය අත්අඩංගුවේ තබා ගැනීම අවශ්‍යයි. 

මෙම පිරිස් අත්අඩංගුවට ගත් පසු මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥ මහත්වරුත් මේ අය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. 

ඒ ගැන මම පුදුම වෙනවා. 

මත්ද්‍රව්‍ය ජාවාරම මානව හිමිකම් උල්ළංඝනය කිරීමක් බව මම විශ්වාස කරනවා.  "