Sunday, September 8, 2024

General line - 0115112241

ආර්ථික මෙන්ම දේශපාලනය ගොඩනැඟීමේ දී මහා සංඝරත්නයේ මඟපෙන්වීම ඉතා වැදගත් - ජනපති කියයි




සියලු ථෙරවාද බෞද්ධ රටවල් අපනයන ආර්ථික ක්‍රමය පදනම් කර ගනිමින් දියුණුව කරා පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව පමණක් ආනයන ආර්ථික ක්‍රමයක රැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්භාවයට පත්ව වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා 

එබැවින් නව ආර්ථික ක්‍රමයක් මෙන්ම දේශපාලන ක්‍රමයක් ද රට තුළ කඩිනමින් ඇති කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම නව මාවතට රට ගෙන ඒමේදී මහා සංඝරත්නයේ මඟපෙන්වීම සහ අනුශාසනා ඉතා වැදගත් කොට සලකන බවද සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ  අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ 44 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවයෙදී.

පුණ්‍යෝත්සවය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. 

" උපසම්පදා විනය  කර්මය පැවිදි ඉතිහාසයේ ශක්තිමත්ම අවස්ථාවයි. 

එම උත්සවයේ වැදගත්කම නිසාම ඈත අතීතයේ සිට ඊට රාජ්‍ය  අනුග්‍රහය ලැබී තිබෙනවා. 

අද මේ සිදුකරන උපසම්පදා මහෝත්සවයට ද රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව මා සඳහන් කළ යුතුයි. 

ශ්‍රී ලංකාවට උපසම්පදා විනය කර්මය දෙයාකාරයකින් ලැබුණා. 

පළමුවැන්න සියම් රාජ්‍යයේ අයෝධ්‍යාවෙන් ලැබුණු උපසම්පදාවයි.

මියන්මාරයේ අමරපුරින් ලැබුණේ  දෙවන ක්‍රමයයි. 

ශ්‍රී ලංකාවේ උපසම්පදා විනය කර්මය සිදු නොවු වකවානුවක් තිබුණා. 

එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම සහ රාජ්‍ය අනුග්‍රහය මත සියම් රාජ්‍යයේ  අයෝධ්‍යාවෙන් පළමුවරට උපසම්පදාව රැගෙන ආවා. 

ඉන් පසුව නැවත උපසම්පදාව නැති වී ගිය විට මියන්මාරයේ අමරපුර රාජ්‍යයෙන් නැවත උපසම්පදාව මෙරටට ගෙන ඒමට කටයුතු කළා. 

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව උපසම්පදා පුණ්‍ය කර්මය සිදුවෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් දකුණු ලක පාලනය කරන සමයේ භික්ෂූත්වය සහ ශාසනය රැක ගැනීමට ස්වාමීන් වහන්සේලා සිදුකළ සේවාව අතිමහත් බව ද කිවයුතුයි. 

මීට වසර දෙකකට පෙර මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. රට බංකොලොත් වුණා . 

කාලයක් පුරා පවත්වා ගෙන එනු ලැබූ ආනයන ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපට එම තත්ත්වයට මුහුණ දීමට සිදු වුණා. 

නමුත් අනෙකුත් සියලු ථෙරවාදි බෞද්ධ රටවල්  අපනයන ආර්ථිකයක් කරා  සිය රටවල් මෙහෙයවනු ලැබුවා. 

එම නිසා අප නව ආර්ථික ක්‍රමයක් සහ නව දේශපාලන ක්‍රමයක් රට තුළ කඩිනමින් ඇතිකළ යුතුයි. 

මෙම නව මාවතකට රට ගෙනයාමේ වැඩපිළිවෙළේදී සහ නව සමාජ ක්‍රමයක් බිහිකිරීමේ දී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ඉතා වැදගත් වෙනවා. "