Sunday, September 8, 2024

General line - 0115112241

කොළඹ පැවති පළමු තරගයෙන් කැන්ඩි කණ්ඩායම පැරදූ ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනියි




ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් කැන්ඩි ෆැල්ක්න්ස් කණ්ඩායම පරදවා කඩුලු 04ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත් වූ අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පැය දෙකකට ආසාන්න කාලයක් ප්‍රමාද වී ආරම්භ වුණා.

මෙම තත්ත්වය හේතුවෙන් තරගය පන්දුවාර 07කට සීමා වුණා.

ඒ අනුව කාසිය වාසිය දිනාගත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පරදීම සඳහා කැන්ඩි ෆැල්ක්න්ස් කණ්ඩායමට ආරාධනා කළා.

පිටියට පැමිණි කැන්ඩි ෆැල්ක්න්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 07 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 78ක් රැස්කළා. මොහොමඩ් හාරිස් පන්දු 13කදී වේගවත් ලකුණු 30ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු දිනේශ් චන්දිමාල් පන්දු 13කදී ලකුණු 21ක් රැස්කළා.

ලකුණු 79ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 05යි පන්දු 05ක් තුළදී කඩුලු 06ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉණිමක් ක්‍රීඩා කළ නායක චරිත් අසලංක පන්දු 09ක් තුළදී හයේ පහරවල් 04ක් ද එල්ල කරමින් ලකුණු 26ක් රැස්කළා.

කැන්ඩි ෆැල්ක්න්ස් කණ්ඩායම මේ දක්වා තරග 07ක් ක්‍රීඩා කරමින් තරග 05ක් පරාජයට පත්වී තිබෙන අතර ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තරග 07ක් ක්‍රීඩා කරමින් ඉන් තරග පහකම ජය තහවුරු කර ගනිමින් මේවන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.