Sunday, September 8, 2024

General line - 0115112241

යුරෝ පාපන්දු සහ විම්බල්ඩන් ටෙනිස් ශූරතා ස්පාඤ්ඤය දිනා ගනියි




ලොව පැවැත්වෙන ප්‍රධානතම තරගාවලි දෙකක ශූරතාව එක රැයක් තුළ හිමිකර ගැනීමට ස්පාඤ්ඤයට ඊයේ රාත්‍රියේ හැකි වුණා.

මෙලෙස ස්පාඤ්ඤයට හිමි වූයේ 2024 යුරෝ පාපන්දු ශූරතාව හා 2024 විම්බල්ඩන් ටෙනිස් ශූරතාවයයි. 

ලොව පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරගාවලියක් වන 2024 යුරෝ පාපන්දු ශූරතාව මෙවර පැවැත්වුණේ ජර්මනියේදීයී.

ඊයේ රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤයට එරෙහිව තරග වැදුණේ එංගලන්තයයි.

තරගයේ වැඩි ගෞරව දිනාගෙන සිටි ස්පාඤ්ඤයට, එංගලන්තය විසින් අභියෝග කළේ තරගයේ 73 වන මිනිත්තුවේදී ගෝලයක් රැස් කර ගනිමින්.

ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගය අග භාගයට ළංවනතුරුම එනම් 82වන මිනිත්තුව වන විටත් ගෝල් 01ට 01ක් ලෙස පැවති අතර අවසාන මොහොතේ එනම් තරගයේ 90 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤය විසින් ගෝලයක් රැස් කර ගැනීමත් සමග ඔවුන් මෙවර යුරෝ පාපන්දු ශූරතාව දිනා ගත්තා.

ඔවුන් යුරෝ පාපන්දු ශූරතාව දිනා ගත් සිව්වන අවස්ථාව මෙයයි.

මින් පෙර ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කිසිදු රටක් යුරෝ පාපන්දු ශූරතාව සිව් වරක් දිනා ගෙන නැහැ.

ඒ අනුව ස්පාඤ්ඤය 2024 යුරෝ පාපන්දු ශූරතාව දිනා ගත්තේ නව වාර්තාවක්ද බිහිකරමින්.

මේ අතර ලොව පැවැත්වෙන ප්‍රධානතම ටෙනිස් තරගාවලිය වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤය කාර්ලොස් ඇල්කරාස් ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් පරාජය කරමින්. තරගයේ අවසන් ලකුණු පුවරුව දැක්වුණේ 06ට 02ක්, 06ට 02ක්, සහ  07ට 06ක් ලෙසයි.

ඒ අනුව 03ට 0ක් ලෙස සමස්ත තරගය දිනා ගත් කාර්ලෝස්, විම්බල්ඩන් ශූරතාව දිනා ගත්තා.

එය ඔහු අඛණ්ඩව දිනූ දෙවන විම්බල්ඩන් ශූරතාවයි. කාර්ලොස් ඇල්කරාස් තවමත් 21වන වියේ පසුවනවා.