Sunday, September 8, 2024

General line - 0115112241

චීනයට එරෙහිව රටවල් 03 ක් එක්වේ




ජපානය, අමෙරිකාව සහ දකුණු කොරියාවේ ඉහළම ආරක්ෂක නිලධාරීන් චීනය සහ උතුරු කොරියාවෙන් ඉහළ යන ආරක්ෂක අවදානම් මධ්‍යයේ රටවල ත්‍රෛපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව ඉහළ නැංවීමට සහ සාමය ළඟා කර ගැනීමට පොරොන්දු වූ බව Nikkei Asia වාර්තා කර තිබෙනවා.

එම රටවල ආරක්ෂක ප්‍රධානීන් බ්‍රහස්පතින්දා ටෝකියෝ නුවරට රැස් වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් වාර්තා වන පරිදි, ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් යොෂිහිඩ් යොෂිඩා, අමෙරිකාවේ ගුවන් හමුදාවේ  ජෙනරාල් චාල්ස් බ්‍රවුන් සහ දකුණු කොරියානු නාවික හමුදාවේ අද්මිරාල් කිම් මියුං සූ එලෙස හමුවී ඇත්තේ ජපානයේ ටෝකියෝ හි පැවැති ත්‍රෛපාර්ශවීය ආරක්ෂක රැස්වීමකදීයි.

ජපානය මෙවැනි ඉහළම ආරක්ෂක නිලධාරීන්ගේ රැස්වීමකට සත්කාරකත්වය දැක්වූ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

ත්‍රෛපාර්ශ්වික රැස්වීමෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක් උපුටා දක්වමින් Nikkei Asia වාර්තා කළේ, කොරියානු අර්ධද්වීපයේ, ඉන්දු-පැසිෆික් කලාපයේ සහ ඉන් ඔබ්බෙහි සාමය සහ ආරක්ෂාව ඉදිරියට ගෙන යාම සඳහා ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙම රැස්වීමේදී නිලධාරීන් එකඟ වූ බවයි.

"සියලු අස්ථාවර ක්‍රියාකාරකම් වහාම නවත්වන ලෙස” රටවල් ත්‍රිත්වය එක්ව උතුරු කොරියාවෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම රුසියාව සමඟ රටේ සබඳතා ශක්තිමත් කිරීම හෙළා දකින අතරම, ත්‍රිත්වය උතුරු කොරියාවෙන් සිය න්‍යෂ්ටික වැඩසටහන ද නතර කරන ලෙස ඉල්ලා ඇතැයි සඳහන්.

එමෙන්ම  ඉන්දු-පැසිෆික් කලාපයේ සහ දකුණු චීන මුහුදේ චීනයේ ව්‍යාප්තවාදී සහ ආක්‍රමණශීලී හිමිකම් ගැන ද රටවල් ත්‍රිත්වය ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔවුන් චීනයෙන් ඉල්ලා ඇත්තේ කලාපය තුළ සිදු කරන බලහත්කාර ක්‍රියා නවතන ලෙසයි.

පවතින තත්ත්වය වෙනස් කිරීමට චීනය දරන සියලු උත්සාහයන්ට විරුද්ධ බව ද ඔවුන් පවසා තිබෙනවා.

මෙම ඉහළ නිලධාරීන් ලබන වසරේ දකුණු කොරියාවේදී නැවත හමුවනු ඇති බවයි Nikkei Asia වාර්තා කළේ.