Sunday, September 8, 2024

General line - 0115112241

එල් පී එල් කිරුල ජැෆ්නා කින්ග්ස් දිනා ගනිී




ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, ගෝල් මර්වල්ස් කණ්ඩායම කඩුලු 09කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසිය වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගෝල් මර්වල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 184ක්. විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 34කදී ලකුණු 82ක් රැස්කළා.

ඔහුගේ ඉණිමට හයේ පහර 06ක් සහ හතරේ පහර 08ක් ඇතුලත් වුණා. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 03ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 04ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 185ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තා.

පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ රිලී රෝසෝව් පන්දු 53කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 106ක්.

ඔහුගේ ඉණිම හයේ පහර 07කින් සහ හතරේ පහර 09කින් වර්ණවත් වුණා.

ඔහුට අනගි සහයක් දුන් කුසල් මෙන්ඩිස් පන්දු 40කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 72ක්.

ඒ අනුව තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන රිලී රෝසෝව් දිනාගනු ලැබුවා.