Sunday, September 8, 2024

General line - 0115112241

ෆොන්සේකාත් - විජයදාසත් ජනාධිපති සටනට




2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත් වන බව  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සිය ඞ ගිණුමේ නිල සටහනක් තබමින්.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස බොහෝ දෙනෙකු තමාගෙන් ඉල්ලා ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉල්ලීම පිළිගැනීමට තමා බලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ.

වසර 76ක් තිස්සේ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට ගෙන ගිය අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් ජනතාව මෙහෙයවූ බවත් ශ්‍රී ලංකාව වර්ධනය වීමට නම් දූෂණය නතර කළ යුතු බවත් ඔහු පවසනවා.

ආදායම් උත්පාදනය ඉහළ නැංවීම සඳහා රටේ ස්වභාවික සම්පත් උපයෝගී කර ගත යුතුයි.

එබැවින් තමන් 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමග එක්වන ලෙස සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් පවසනවා. 

කෙසේවෙතත් ඔහු වර්තමානයේ නියෝජනය කරන සමගි ජන බලවේගයෙන් ඉවත් වනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මීට පෙර 2010 වසරේදී ද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ජනපති සටනට ඉදිරිපත් වූයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසයි.                                    

2024 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද ප්‍රකාශ කළා.

ඒ, අද පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.