Sunday, September 8, 2024

General line - 0115112241

වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ සුදුසු කොන්දේසි මත මුදාහරින ලෙසට නියෝග

උදය කුමාර




ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සුදුසු කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළා.

වෛද්‍ය කපිල වික්‍රමනායක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට වගඋත්තරකාර පාර්ශවය විසින් මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවයි.

මෙම සිද්ධිය වූ වකවානුවේ පෙත්සම්කාර වෛද්‍යවරයා  විදේශගතව සිටි බව පෙන්වා දුන් විනිසුරුවරයා පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොතිබූ බවත් කියා සිටියා.

ඒ අනුව පෙත්සම්කරු සුදුසු කොන්දේසි මත මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු නියෝගයක් නිකුත් කළා.

කෙසේවෙතත් මෙම නියෝගය පෙත්සම්කරුට එරෙහිව වැඩිදුර සාක්ෂි ඉදිරිපත් කිරීමට බාධාවක් නොවන බවත් තීන්දුවේ සඳහන් වුණා.

ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 12 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.