Sunday, September 8, 2024

General line - 0115112241

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කිරීමට නීතිපතිවරයාට කල් දෙයි

උදය කුමාර




පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

ඒ, මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා ඔක්තෝම්බර් මස 9 වන දා තෙක් අධිකරණ විසින් කල් ලබා දුන්නා. සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත් වූ සුරාජ් නිලංග යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලු ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිලන්ත ජයවර්ධනට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. 

එහෙත්  ඒ සම්බන්ධයෙන්  පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

එබැවින් නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.