Sunday, September 8, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ නිවේදනය රජයේ මුද්‍රණාලයට - දිනය සැප්තැම්බර් 21වන බවට අනුමානයක්




ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව දැනුම් දීමේ අති විශේෂ ගැසට් නිවේදනය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත ඊයේ යැවූ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මීට නොබෝ වේලාවකට පෙර නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

රජයේ මුද්‍රණාලය වෙත 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාම යෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීම එම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නිවේදනය කෙරෙනු ඇති.

මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ සැප්තැම්බර් මස 17වනදායින් පසුව ඇති ළඟම සහ හොඳම දිනය ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා යොදාගෙන ඇති බවයි.

ඒ අනුව සැප්තැම්බර් මස 17වනදායින් පසු යෙදෙන පළමු සෙනසුරාදා දිනය වන්නේ සැප්තැම්බර් මස 21වනදායි. 

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21වනදා පැවැත්වෙනු ඇති බවටයි බොහෝ දෙනා මත පළ කරන්නේ.

ඊට අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම අගෝස්තු මස මැද භාගයේදී සිදු කෙරෙනු ඇති. 

මේ අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ. 

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බලපෑමක් නොවන බවටද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී කියා සිටියා.