Friday, October 18, 2024

General line - 0115112241

පකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස අවසන් මහා තරඟයට




ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමින්.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 140ක්.

එහිදී මුනීබා අලි ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී සහ කවීෂා දිල්හාරි කඩුලු 02 බැගින් දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 141ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 141ක් රැස් කරමින් තරඟය ජය ගනු ලැබුවා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 48කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 63ක්.

ඇයගේ ඉනිමට එක් හයේ පහරක් සහ 04 පහර 09ක් ඇතුළත් වුණා. 

අනුෂිකා සංජීවනී ලකුණු 24යි.

පන්දු යැවීමේදී කඩුලු 04ක් බිඳ හෙලීමට පකිස්තාන ක්‍රීඩිකා සදියා ඉක්බාල් සමත් වුණා.

ඒ අනුව පකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව, ඉන්දීය කණ්ඩායම සමග ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.

එම අවසන් මහා තරඟය හෙට පස්වරු 03ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.