Friday, January 3, 2025

General line - 0115112241

ඊශ්‍රායලයට පහර දෙන්න ඉරානයට නියෝග




හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේ ඝාතනයත් සමග මේ වන විට මැද පෙරදිග කලාපයේ දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

එය තවත් උත්සන්න වී ඇත්තේ ඊශ්‍රායලයට පහර දීමට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලිකමේනි ඉරානයට කළ නියෝගය හේතුවෙන්.

ඉරානයේ උත්තරීතර නායකයා ඉරානයට නියෝගයක් නිකුත් කර ඇත්තේ ඊශ්‍රායලයට ඍජුවම පහර දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක්ද පවත්වා ඇතැයි සඳහන්.

තම රට තුළදී ඉස්මයිල් හානියේ ඝාතනය කිරීමට පළිගැනීම ඉරානයේ යුතුකම බවයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලිකමේනි පවසා ඇත්තේ. 

පවතින තත්ත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ද ඊයේ උණුසුම් වාද විවාද සිදුව තිබෙනවා.

ඒ, එක් එක් රටවල් මෙම සිද්ධිය පාදක කර ගනිමින් අනෙක් රටවලට චෝදනා කිරීමත් සමගයි.

අමෙරිකාව එහිදී දැඩිව පවසා ඇත්තේ ඊශ්‍රායලය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අනිවාර්යයෙන් පෙනී සිටිය යුතු බවයි.

ඉරානය එහිදී චෝදනා කර ඇත්තේ හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේ ඝාතනය කිරීම අමෙරිකාවේ අවසරය හෝ බුද්ධි තොරතුරු සහයක් නොමැතිව සිදු විය නොහැකි බවටයි. 

අමෙරිකාව මෙන්ම බි්‍රතාන්‍යයද මීට පෙර සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇත්තේ ලෙබනනයේ සංචාරය නොකරන ලෙසටයි.

ඒ, හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨතම අණ දෙන නිලධාරියෙකු වන ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල් ප්‍රහාරයකින් ලෙබනනයේදී මිය යාමත් සමගයි.

හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියා ලෙබනනයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය පිළිගෙන ඇතත් ඉස්මයිල් හානියේගේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු මාධ්‍ය ඇමතූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ තම රටට එරෙහි සතුරන්ට ඉකුත් දිනවලදී පහර දුන් බවයි. 

හමාස් සංවිධානයේ දේශපාලන නායක ලෙස සැලකෙන ඉස්මයිල් හානියේ ඝාතනය කෙරුණේ ඉරානයේ සංචාරයක යෙදී සිටියදීයි.

නවතම වාර්තාවල දැක්වෙන්නේ ඔහු මීට පෙර ඉරානයේ සිදු කළ සංචාරවලදී නැවතී සිටි ගොඩනැගිල්ලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.  

මේ අතර, ඉස්මයිල් හානියේගේ අවමංගල්‍ය පෙරහැර අද පැවැත්වීමට නියමිතව ඇති බැවින් ටෙහෙරානයේ ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබෙනවා.