Tuesday, September 17, 2024

General line - 0115112241

තැපල් ඡන්ද පත්‍රිකාව ඡයාරුප ගත කොට වෙනත් අයට යැවූ ගුරුවරයෙකු අත් අඩංගුවට

දිනසේන රතුගමගේ




තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය සලකුණු කළ නිල ඡන්ද පත්‍රිකාව ජංගම  දුරකතනයකින් රූගත කළ පාසල් ගුරුවරයෙකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සිකුරාද මුලතිව් පුදුකුඩීඉරිප්පු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය භාවිත කළ අවස්ථාවේදී එම ගුරුවරයා දෙමළ පොදු අපේක්ෂකයාගේ හක්ගෙඩිය සලකුණට ඡන්දය ප්‍රකාශ කොට එම නිල ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප කීපයක් ගෙන තිබුනා.

සිද්ධිය දුටු වෙනත් අයෙකු ඒ පිළිබදව මැතිවරණ නිලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුව මැතිවරණ නිලධාරීන් මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඒ බව පවසා තිබෙනවා.

අදාල ගුරුවරයා ජංගම දුරකතනයද ඊයේ අත්අඩංගුවට ගත් බවත් ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඔහු ලබා ගත් ඡායාරූප හා එම ඡායාරූප කීප දෙනෙකු වෙත යවා ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

සිදු කරන ලද විමර්ශන වලදි ඔහු පවසා ඇත්තේ තම ඡන්දය ස්ථිර වශයෙන්ම දෙමළ පොදු අපේක්ෂකයා වෙත සලකුණු කළ බව එම අපේක්ෂකයාට  තහවුරු කිරීම පිණිස ඔහුට යැවීමට එහි ඡායාරූප ගත් බවයි. 

අදාල ගුරුවරයාව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.