Saturday, October 5, 2024

General line - 0115112241

අල්ලස් ගත් RMV නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්

උදය කුමාර




අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් හේතුවෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.

බස් රථ තුනක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා සැකකරුවන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ බස්රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්, එහි විෂය ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකුයි.

ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී ඇත්තේ.

ඒ අනුව  සැකකරුවන් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කළ ජීප් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ධාවනය කිරීම සිදුකර ඇති බවට එම කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව පසුගිය මස 18 වන දිනට පෙර අදාළ මෝටර් රථය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දෙන ලෙස අදාළ ව්‍යාපාරිකයාට අධිකරණ නියෝග කළා.

එහෙත් එම නියෝග කඩ කිරීම හේතුවෙන් බදුල්ල නෙළුම්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ක්‍රියාත්මක කර තිබුණා.

ඒ අනුව අධිකරණ නියෝග පරිදි අදාළ ජීප් රථය අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.