Saturday, October 19, 2024

General line - 0115112241

කොදෙව් කාන්තා කණ්ඩායම පැරදූ නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරඟයට




කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ලකුණු 08කින් පරාජයට පත් කරමින්. තරඟය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන අවසන් පූර්ව තරඟය ලෙසයි පැවැත්වුණේ.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 09ක් පමණක් දැවී ලකුණු 128ක් රැස් කළා.

ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 08ක් පමණක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 120ක් පමණයි.

ඒ අනුව අවසන් මහා තරඟයට නවසීලන්ත කණ්ඩායම සුදුසුකම් ලැබුවා. අවසන් මහා තරඟය එළඹෙන 20වනදා නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි. 

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම අත්දැකීමක් ඇති නවසීලන්ත කණ්ඩායම මීට පෙර අවස්ථා 04කදී ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙන අතර ඉන් අවස්ථා දෙකකදී අවසන් මහා තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා. 

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟ 06කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා. 

කෙසේවෙතත් ඔවුන්ට අවසන් මහා තරඟයක් ක්‍රීඩා කිරීමට හැකිව තිබෙන්නේ 2016 වසරේදී පමණයි.

එම අවසන් මහා තරඟයේදී ප්‍රබල ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පරදවා ලෝක කුසලානය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම එහිදී සමත් වුණා.