Thursday, January 2, 2025

General line - 0115112241

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට.




බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ හදිසි රෝගී තත්ත්වයක් ඇති වීම හේතුවෙන් මෙලෙස බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කළ බවයි.

කෙසේවෙතත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දැඩි ආරක්ෂාවක් යටතේ මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලට යොමු කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර අමාත්‍යවරයාව සිටි බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් සැපයිමටත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝගයේ සටහන් කර තිබූ බවයි.

බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 31 වැනි දින සිට නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවත් බන්ධනාගාර කොමසාරිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර රෝහලෙන් කැඳවූ අතර එහිදී ස්වසන අපහසුතාවයන් මත බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කළ යුතු බව දන්වා ඇති බවයි. 

අක්මාව, පෙනහළු හා අගන්‍යාශය ආශ්‍රිත රෝගී තත්ත්වයන්වලින් පසුවූ බැවින් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු බවත් බන්ධනාගාර රෝහල් වාර්තාවේ සඳහන්ව තිබූ බවත් සඳහන්. 

දැනට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ප්‍රතිකාර අවසන් වීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත නැවත බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියමිත බවද බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.