ඩීසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් ගාස්තු වැඩි කිරීමට තරම් ප්‍රමාණවත් මුදලකින් ඩීසල් මිල වැඩිවී නොමැති බවයි.
මේ අතර පෙට්‍රල් මිල රුපියල් 02 කින් අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාව මෙලෙස අදහස් පළ කළා.
ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් මිල පමණක් ඊයේ මධ්‍යම රාත්‍රියේ රුපියල් 02 කින් පහළ දැමුවා.
ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 309 ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 286 ක් වනවා.
ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 05 කින් ඉහළ දැමුවා.
එහි නව මිල රුපියල් 188 ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
කෙසේවෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කර නැහැ.
ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක් තවදුරටත් රුපියල් 371 කට අලෙවි වනවා.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල ද සංශෝධනය කර නොමැති අතර එම ඩීසල් ලීටරයක් තවදුරටත් අලෙවි වන්නේ රුපියල් 313 කට බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
මීට සමගාමීව ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කළ මිල පරාසවලින් ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.