Thursday, December 26, 2024

General line - 0115112241

නාගරික මන්ත්‍රීවරයෙකුට නිකුත් කළ අතුරු තහනමක් අභියාචනාධිකරණය දීර්ඝ කරයි

උදය කුමාර




මරදාන අලෙවි මවුලානා ප්‍රජා ශාලාව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සිදුකිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 01 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. 

ඒ, එම ශාලා පරිශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විසින් සිදුකරන ලද අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනු කළ පෙත්සමක් අද කැඳවීමෙන් අනතුරුවයි. 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ මෙම පෙත්සමක් කැඳවනු ලැබුවා. 

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ මෙම කරුණට අදාලව අධිකරණයට අපහාස කිරීමේ නඩුකරයක් ද තමන් විසින් ගොනුකර තිබෙන බවයි. 
කොළඹ මහනගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ අදාල අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් තම සේවා දායකයා අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි. 

මෙහිදී අභියාචනාධීකරණයේ සභාපති විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයකට පත් කර ගැනීම සුදුසු බවයි. 

ඒ අනුව එම කටයුතුවල ප්‍රගතිය අප්‍රේල් මස 01 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළා.