අග්බෝ ඇතා සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා තිරප්පනය ඇතුන්ගම, පිත්තලකොන්ඩාරුම, වන්නම්මඩුව, මාරාකුළම ඇතුළු ගම්මාන රැසක ජනතාව අද විරෝධතාවක නිරත වුණා.
තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඔවුන් පසුව තිරප්පනය නගරයේ පිහිටි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
විරෝධතාකරුවන් එහිදී කියා සිටියේ ඉදිරි පාදයට වෙඩි වැදීමෙන් අසාධ්‍යයව සිටි අග්බෝ ඇතාට වසර එකහමාරක සිට අවස්ථා සීයයකට ආසන්න ප්‍රමාණයකදී ප්‍රතිකාර කර ඇති බවයි.
තරමක සුවයෙන් පසුවන අග්බෝ ඇතා මේ වන විට අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ ගම්මාන 12ක පමණ සැරි සරමින් සිය දේපල හා වගාවන්ට බරපතළ හානී සිදු කරන බවද ඔවුන් පැවසුවා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා සමඟ විරෝධතාකරුවන් 6 දෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමි වුණා.
එහිදී විරෝධතාකරුවන් පෙන්වා දී ඇත්තේ අග්බෝ ඇතා අලි වෙඩි හමුවේද පලවා හැරීමට නොහැකි බවයි.
ඒ අනුව අග්බෝ ඇතා සම්බන්ධයෙන් කඩිනම් ක්රීයාමාර්ගයක් ගන්නා ලෙසට විරෝධතාකරුවන් ඉල්ලා තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ අග්බෝ ඇතාගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැනුවත් කර ඇති බවයි.
සතියක් තුළ ඊට විසඳුමක් ලබා දෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව විරෝධතාකරුවන් සිය විරෝධතාව අවසන් කර එම ස්ථානයෙන් නික්ම ගොස් තිබෙනවා.