Friday, January 3, 2025

General line - 0115112241

ජනපති බන්ධනාගාරයටත් අත ගසයි - වැරදි කරන නිලධාරින්ටත් වැඩ වරදී




බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා සඳහා සම්බන්ධ නිලධාරීන්ට ආයතනයේ විනය ක්‍රියා මාර්ගවලට එහා ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

එමෙන්ම බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස එහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය අනුගමනය කිරීමේ හැකියාව ද පෙන්වා දී තිබෙනවා. 

මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතු වන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරින්ට දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබෙනවා. 

මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.