Wednesday, February 5, 2025

General line - 0115112241

එජාප - සජබ දීගය ඵල දරණ ලකුණු තිබියදී රුවන් - සජිත් දීගය කඩන්න හදන මන්ත්‍රී කවුද?




ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට අදාළ යෝජනාවට සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

එම රැස්වීම සමගි ජනබලවේග පක්‍ෂ කාර්යාලයේදී පැවැත්වුණේ පක්‍ෂ නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පක්‍ෂ නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ සහ රුවන් විජේවර්ධන මහතාගේ නායකත්වයෙන් දෙපාර්ශවය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් පක්ෂ දෙකේ බොහෝ පිරිසක් කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වනවා. 

එම පක්ෂ දෙක එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම් සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රුවන් විජේවර්ධන සහ තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් එම සාකච්ඡාවට එක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අකමැත්තෙන් පසුවන බවද වාර්තා වනවා. 

ඒ අනුව සමගි ජන බලවේගයේ නායකත්වය අදාල මන්ත්‍රීවරයාට හිමිවිය යුතු බවට ඔහු විසින්ම මාධ්‍ය ප්‍රචාරණයක් සිදු කරමින් පවතින බවයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ.