Saturday, February 1, 2025

General line - 0115112241

ජනපති ආරක්‍ෂක නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩරයක් අනතුරට - 04ක් රෝහලේ




ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වී තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. 

තලාව පොලීසිය පැවසුවේ 70 සහ 71 වන කිලෝමීටර් කණු අතරදී එම ඩිෆෙන්ඩර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී එම අනතුර සිදුව ඇති බවයි. 

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් එම ඩිෆෙන්ඩර් රථය පෙරළී තිබෙනවා. 

අනතුරෙන් තුවාල ලැබූ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් තිදෙනෙකු සහ රියදුරා පළමුව තලාව රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ. 

ඉන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර තිබෙනවා. බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.  

යාපනය ප්‍රදේශයේදී ජනාධිපතිවරයා සහභාගි වූ වැඩසටහනක ආරක්‍ෂක කටයුතු සඳහා අනියුක්ත කර සිටි එම ආරක්‍ෂක නිලධාරින් කුරුණෑගල ප්‍රදේශයේ තවත් රාජකාරී කටයුත්තකට සහභාගී වෙමින් සිටියදී එම අනතුර  සිදුව තිබෙනවා. 

ඩිෆෙන්ඩර් රථයේ රියදුරාට නින්ද යාම අනතුරට හේතුව වන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.