ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
එහෙත් එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබා දිය යුතු බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම්.
ඒ වෙනුවෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
යුද්ධය නිසා අවතැන් වූ පවුල් උතුරු පළාතේ තවමත් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා කඩිනම් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනා ගෙන ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බවත් ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කළා.
උතුරු පළාතේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද වත්මන් රජය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් ඒකාබද්ධ ධාවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කරඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.
උතුරු පළාතේ දුම්රිය සේවාව ද සංඛ්‍යාත්මකව වැඩි කිරීමටද අවධානය යොමු වී තිබෙනවා.
උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප තුනක් ඇති කිරීමට අවධානය යොමු වී ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.
ඒ සඳහා ආයෝජනය කිරීමට යුද්ධය හේතුවෙන් මෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බව ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.