Saturday, February 1, 2025

General line - 0115112241

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 242ක ජයක්




ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 242කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා. 

ඒ අනුව ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකින් ලැබූ දැවැන්ත පරාජය ලෙසයි එය වාර්තා අතරට එක් වුණේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 654ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. 

ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් උස්මාන් කවාජා ලකුණු 232ක් රැස්කර ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කළා. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් ලකුණු 141යි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතර කඩුලු 03 බැගින් බෙදී ගියා.

කෙසේවෙතත් සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 165ක් පමණයි. 

දිනේශ් චන්දිමාල් ලකුණු 72ක් රැස් කළා. නායක ධනංජය සිල්වා ලකුණු 22කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 21කටත් දැවී ගියා. 

කමිඳු මෙන්ඩිස් ලකුණු 15යි. සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාව හිමි වූයේ නැහැ. පන්දු යැවීමේදී මැතිව් කුන්මන් කඩුලු 05ක් බිඳහෙලුවා.

සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා යළි පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 247ක් පමණයි. 

ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 53ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41ක් රැස් කළා. 

නායක ධනංජය ද සිල්වා රැස් කළේ ලකුණු 39ක් පමණයි. 

පළමු ඉනිමේදී මෙන්ම දෙවෙනි ඉනිමේදී ද ඕෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න අසාර්ථක වුණා. 

පන්දු යැවීමේදී මැතිව් කුන්මන් සහ නේතන් ලියෝන් කඩුලු 04 බැගින් බිඳහෙලුවා. 

ලකුණු 232ක් රැස් කළ උස්මාන් කවාජා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එලෙස නිමාවට පත් වුණේ තරගයේ තවත් දිනයක් ඉතිරිව තිබියදීයි. 

දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 06 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.