Saturday, February 1, 2025

General line - 0115112241

කඹුරුපිටියේ නිවසක් තුළ කාන්තාවකගේ මළ සිරුරක්




කඹුරුපිටිය පොලිස් වසමේ නිවසක් තුළ හිස ප්‍රදේශයේ තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. 

අදාළ නිවසේ කාන්තාවන් දෙදෙනෙකු වැටී සිටින බවට ලද තොරතුරක් මත සිදු කළ පරික්‍ෂාවකදී එම මළසිරුර හමුවූ බවයි කඹුරුපිටිය පොලීසිය පැවසුවේ. 

එහිදී තවත් එක් වයස්ගත කාන්තාවක් පුටුවක් මත සිහි මද ගතියකින් වැටී සිටි බව පොලීසිය පැවසුවා. 

එම කාන්තාව පොලිස් නිලධාරින් විසින් කඹුරුපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වූ කඹුරුපිටිය ප්‍රදේශයේම පදිංචිකාරියක්. 

ඇය සිය මව සහ සහෝදරයා සමග එම නිවසේ පදිංචිව සිට තිබෙනවා. 

රෝහල්ගත කර ඇති කාන්තාව, ජීවිතක්‍ෂයට පත්ව ඇති කාන්තාවගේ මව වනවා. 

සිද්ධියට අදාළව ජීවිතක්‍ෂයට පත්වූ කාන්තාවගේ සහෝදරයා සහ වයස අවුරුදු 76ක් වන මව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 
 

මේ අතර, කැකිරාව, කාංචනංකුලම ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පැළක් තුළදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 

අදාළ පුද්ගලයා ලේ වහනය වී තුවාල සහිතව නිවසේ වැටී සිටි බවයි පොලීසිය පැවසුවේ. ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   
 

ඔහු ඉකුත් 30 වනදා රාත්‍රී කාලයේදී පැල් රැකීම සඳහා නිවසින් පිටව ගොස් සිටියදී එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.