අකුණු සන්නායක සොරකම් කළ සැකකරුවන් පස් දෙනෙකු ඉමදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොටවිල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අදාළව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කළ වැටලීමකදීයි.
අදාළ සැකකරුවන් මාතර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. සැකකරුවන් ඉමදූව ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.
ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මාතර, මාලිම්බඩ, අකුරැස්ස, නෙළුව, ඉමදූව, වැලිගම, යක්කලමුල්ල, ඌරුබොක්ක, අම්බලන්ගොඩ සහ අහංගම යන ප්‍රදේශවල දුරකතන සන්නිවේදන කුළුණුවල සවිකර තිබූ අකුණු සන්නායක සොරකම් කර ඇති බවයි.
සැකකරුවන් විසින් සොරකම් කරන ලද අකුණු සන්නායකවලින් ලබා ගත් තඹ කිලෝ 228ක් විවිධ ස්ථානවලට අලෙවි කර තිබියදී සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබූ කම්බි කැපීම සඳහා යොදා ගත් කතුරක්, යතුරුපැදියක් හා ජංගම දුරකතන 05ක්ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.