Saturday, February 1, 2025

General line - 0115112241

ඇල්ල ඕඩීසී - මහනුවර දුම්රිය අද සිට සති අන්තයේ ධාවනයේ




ඇල්ල ඕඩිසී මහනුවර දුම්රිය අද සිය මංගල ගමන ආරම්භ කළා. 

ඒ අනුව මහනුවරින් පෙරවරු 09.45ට ගමන් ආරම්භ කරනු ලැබූ එම දුම්රිය පස්වරු 05.25ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 

දෙමෝදර දුම්රිය ස්ථානයෙන් යළිත් පස්වරු 06.00ට ගමන් ආරම්භ කළ එම දුම්රිය මධ්‍යම රාත්‍රී 12.00ට මහනුවර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතයි. 

එම දුම්රිය පේරාදෙණිය, නාවලපිටිය, හැටන්, ග්‍රේට්වෙස්ටන්, නානුඔය, පට්ටිපොල, ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් නතර කරනු ලබනවා. 

එමෙන්ම ආරුක්කු නමය පාලම අසල විනාඩි 10ක පමණ කාලයක් එම දුම්රිය නවතා තබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඇල්ල ඕඩිසී මහනුවර දුම්රිය පළමු පන්තියේ වෙන් කළ ආසන 176කින් දෙවැනි පන්තියේ වෙන් කළ ආසන 176කින් සහ තුන්වැනි පන්තියේ වෙන්කළ ආසන 44කින් සමන්විතයි. 

ඇල්ල ඕඩිසී මහනුවර දුම්රිය සෑම සති අන්තයකම පමණක් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
 

මේ අතර ලබන 10 වනදා සිට ඇල්ල ඕඩිසි නානුඔය නව දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතයි. 

පෙරවරු 08.10ට නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන එම දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයට මධ්‍යහන 11.35ට ළඟා වීමට නියමිතව තිබෙනවා. 

දහවල් 01.00ට යළිත් බදුල්ලෙන් ගමන් ආරම්භ කරන එම දුම්රිය පස්වරු 05.30ට නානුඔය දුම්රිය ස්ථානයට ළඟා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඇල්ල ඕඩිසි නානුඔය නව දුම්රිය බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී ධාවනය වීමට නියමිතයි.