Monday, February 3, 2025

General line - 0115112241

එජාප සහ සජබ නායකයින් දෙදෙනා අතර සාකච්ඡාවක් ළඟදීම

තුෂාර-හේරත් බණ්ඩාර




එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වීම සඳහා දෙපාර්ශවයේ නායක මට්ටමේ සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. 

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ. 

මේ අතර පක්ෂ දෙක එක්විය යුතු බවට තමන් කලක සිට දැරූ මතය මේ වන විට බොහෝ දෙනෙකු අනුමත කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය නෙත් නිවුස් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.


ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙපාර්ශවය එක්ව හොඳම වැඩපිළිවෙල සකස්කර ගත යුතු බවද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරිය මෙහිදී කියා සිටියා.



මේ අතර සමගි ජන බලවේගයේ ජාතික සංවිධාක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ද පැවසුවේ දෙපාර්ශවය අතර පවතින සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමක පවතින බවයි. 

ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණයට දෙපාර්ශවයේ නායකයින් දෙදෙනා අතර පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව එළඹීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.