Thursday, February 13, 2025

General line - 0115112241

වාද්දුවේ එක් දරු පියෙක් මියයාමේ සිද්ධියට පොලිසියේ 04ක් අත්අඩංගුවට




වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු පොලිස් ඇප මත මුදාහැර සිටියදී රෝහල්ගත වීමෙන් පසු මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියේ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දූව පොලිස් ස්ථානයට අනියුක්ත කොස්තාපල්වරු සිව් දෙනෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ අදාළ පුද්ගලයාට පහර දීමේ චෝදනා මත මෙම කොස්තාපල්වරුන් අත්අඩංගුවට ගත් බවයි.

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු පොලිස් ඇප මත මුදාහැර සිටියදී රෝහල්ගත වීමෙන් පසු මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, පවුලේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියෙක්. 

ඔහු රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන තිබුණා.

පැය කිහිපයකට පසුව ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඇතිවූ රෝගී තත්ත්වයක් මත රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ. 

පසුව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබුණා.