Tuesday, September 17, 2024

General line - 0115112241

අත්අඩංගුවේ සිටි අයෙකු මිය යාම ගැන පොලිසියේ පහක් අත්අඩංගුවට 




පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයෙකු හදිසියේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අතරට උප පොලිස් පරීක්ෂකවරයෙකු ද අයත්. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය මත විශේෂ පරීක්ෂණයක් ද කි‍්‍රයාත්මකයි. 

ඉකුත් 15 වෙනිදා මෝටර් රථ සොරකමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා. 

ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ කඩුවෙල නවගමුව ප‍්‍රදේශයේ පදිංචි තම හිතවතෙකු සතුව ගිනිඅවියක් ඇති බවටයි. 

ඒ අනුව පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් ඔහු පදිංචි නිවසට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පසුව ගිනිඅවිය පෙන්වීමට ගොස් ඇති මෙම පුද්ගලයා පලා යාමට උත්සහ දරා ඇති බවයි වාර්තා වන්නේ. 

එහිදී ඔහු හදිසියේ රෝගාතුර වී ඇති අතර ඔහු ඇදුම රෝගයෙන් පෙළී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

මල්වාන ප‍්‍රදේශයේ පදිංචි ඔහු 41 හැවිරිදි පුද්ගලයෙක්. 

කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් අනාවරණ වී ඇත්තේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ සිරුරේ අධික ලෙස තැලීම් පවතින බවයි. 

අධික ලෙස රුධිරය වහනය වීමකින් හෝ ජලය නොමැතිකමින් මරණය සිදුව ඇති බවයි අදාළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ. 

මෙම කරුණු අනාවරණ වීමෙන් පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කෙරුණා.