Tuesday, September 17, 2024

General line - 0115112241

විමල්ට අධිකරණයෙන් සහනයක්




පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම සඳහා එක්වීමට අවස්ථාව ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට අද නියෝගයක් ලබාදුන්නා. 

ඒ, රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

මන්ත‍්‍රීවරයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ ප‍්‍රතිශෝධන පෙත්සම විවාදයට ගැනීම මාර්තු මස 8 වෙනිදාට කල්තැබීම ද මෙහිදී සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ප‍්‍රතිශෝධන පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීම ද සිදුවුණා.

ඒ අනුව ප‍්‍රතිවිරෝධතා ඇත්නම් මාර්තු 3 වෙනිදාට පෙර ගොනුකරන ලෙසටයි මෙහිදී නියෝග කෙරුණේ. 

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ අද කියා සිටියේ තම සේවාදායකයාට පාර්ලිමේන්තු සභා රැස්වීම්වලට සහභාගි වීමට අවස්ථාව ඇතත් පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් සඳහා බන්ධනාගාර නිලධාරීන් රැගෙන නොයන බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට ද මන්ත‍්‍රීවරයාට සහභාගි වීමට අවසර ලබාදෙන ලෙසයි කොළඹ මහාධිකරණයේදී අද වැඩිදුරටත් නියෝග කෙරුණේ. 

රජයේ වාහන 40ක් අවභාවිත කර රජයට රුපියල් මිලියන 91ක පාඩුවක් සිදුකළ බවටයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට චෝදනා ගොනුකර ඇත්තේ.