Tuesday, September 17, 2024

General line - 0115112241

සමුගැනීමේ උත්සවයට පැමිණි අගවිනිසුරු රාජකාරිය ගැන කතා කරයි




මෙරට අධිකරණ පද්ධතිය තුළ සේවය කරන සියලු නීතිඥවරුන්ට සහ විනිසුරුවරුන්ට නිර්භයව තම රාජකාරි කිරීමට හැකියාව ලැබේවායි ආශිර්වාද කරන බව අගවිනිසුරු කේ ශ‍්‍රී පවන් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් අගවිනිසුරුවරයා ලෙස පත් වීමෙන් පසු මෙරට අධිකරණ ක්ෂේත‍්‍රය තුළ සුපැහැදිලි වෙනසක් ඇති කිරිමට හැකි වූ බවයි.

මෙරට 43 වැනි අගවිනිසුරුවරයා වන කේ ශ‍්‍රි පවන් මහතා අද (28) දිනයේ සිය ධුරයෙන් විශ‍්‍රාම ගනු ලබනවා. ඒ වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාන කර තිබූ සමුගැනීමේ උත්සවය අමතමින් අගවිනිසුරුවරයා මේ බව කියා සිටියා. 

තමන් වසර 45 කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ බවයි අගවිනිසුරු කේ ශ‍්‍රී පවන් මහතා ප‍්‍රකාශ කළේ.

නඩු විභාග කිරිම කඩිනම් කිරීමට තමන් විවිධ උපක‍්‍රම අනුගමනය කළ බවත් ඒවා සියල්ල සාර්ථක කර ගැනිමට හැකි වූ බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එම කාල සිමාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණක් නඩු පන්දහසකට අධික ප‍්‍රමාණයක් ගොඩ ගැසී තිබුණා. එම නඩු කඩිනමින් විභාග කිරිම අධිකරණ ශාලා තුනකදී සිදු කළ බවයි අගවිනිසුරුවරයා මෙහිදී අවධාරණය කළේ. 

මේ අතර ශ‍්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් පත්කිරීම සුදුසු බව ව්‍යවස්ථාදායක සභාව ඊයේ තීරණය කළා. ඒ අනුව අදාළ නිර්දේශය අද දිනයේදී ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇති.