Saturday, July 27, 2024

General line - 0115112241

මහින්දගේ ජී එස් පී ප්ලස් චෝදනාවට ආණ්ඩුවෙන් උත්තර




ජී එස් පී ප්ලස් බදු සහනය තාවකාලික එකක් වුව ද ඉන් අත්කර ගත හැකි වාසි උපරිම අයුරින් ලබා ගැනීම අරමුණ බව ආණ්ඩුව පවසනවා. 

ඒ අදාළ සහනය ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයට ප‍්‍රතිචාර දක්වමින්. 

ජී එස් පී ප්ලස් බදු සහනය ලබා ගැනීම සඳහා යටත් වන කොන්දේසි තුළින් රටේ දේශපාලනමය, නීතිමය හා ආයතනික රාමුවට අතිශයින්ම බරපතල හානි සිදුවිය හැකි බවටයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. 

මෙම ප‍්‍රකාශයට ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්නගෙන් නෙත් නිවුස් විමසා සිටියා. 

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ රටේ සමස්ත අනාගතයම ජී එස් පී මත ගොඩනැගිය හැකි බවට වූ හැඟීමක් ආණ්ඩුව විසින් ජනතාව අතර වපුරමින් සිටින බවයි. 

ජී එස් පී ප්ලස් බදු සහන ක‍්‍රමයෙන් ලැබෙන්නේ තාවකාලික ආර්ථික ප‍්‍රතිලාභයක් පමණක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබුනේ මේ වනවිට ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් හාරදහස් තිස්පහකට ආසන්න වෙමින් ඇති බවයි. 

එබැවින් ජී එස් පී ප්ලස් ලබා ගැනීමකින් තොරව සාමාන්‍ය බද්දකට යටත්ව, සාමාන්‍ය ජී එස් පී ක‍්‍රමය යටතේ සිටියා නම්, ඩොලර් හාරදහස් තිස්පහේ කඩයිම පසු කිරීමත් සමඟ ඇතිවන අලූත් තත්වයට හුරුවීමට වඩාත් පහසු වීමට ඉඩ තිබූ බවයි හිටපු ජනාධිපතිවරයා අදහස වුණේ. 

අලූත් නිෂ්පාදන එළිදක්වා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුණා.