Tuesday, September 24, 2024

General line - 0115112241

අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් කළ වැඩකුත් කොමිසම හමුවේ දිග හැරේ




පර්පචුවල් ටෙ‍්‍රසරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ අර්ජුන් ඇලෝසියස් භාවිත කළ ජංගම දුරකථනයේ මුර පදය පරීක්ෂණ සඳහා ලබා ගැනීම සම්බන්ධයෙන් වන නියෝගය බැදුම්කර කොමිසම විසින් අද (02) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, අදාල මුරපදය නිකුත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් කොමිසම හමුවේ ඊයේ (01) කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. 

එහිදී අදහස් දැක් වූ අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා පෙන්වා දී ඇත්තේ තම සේවාදායකයා ජංගම දුරකථනය මිල දී ගෙන ඇත්තේ සිංගප්පූරුවෙන් බවයි. එහි මුර පදය හා භාවිත නාමය යොදන ලද්දේ ද සිංගප්පූරුවේදී බැවින් මේ වනවිට එය ඔහුට අමතක වී ඇති බව ද නීතීඥවරයා කොමිසම හමුවේ ප‍්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් පසුගිය පැය 48ක කාලය තුළ අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ ජංගම දුරකථනයෙන් එම ගිණුමට ඇතුළු වීමට උත්සහ දරා ඇති බව ද බැදුම්කර කොමිසමේ දී ඊයේ අනාවරණ වී තිබෙනවා.

දුරකථනයේ දත්ත මකා දැමීමට හැර ගිණුමට ඇතුළු වීමට ඔහුට වෙනත් අරමුණක් තිබිය නොහැකි බවයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ ප‍්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව අර්ජුන් ඇලෝසියස්ට වෙනත් උපකරණ භාවිත කරමින් ජංගම දුරකථන ගිණුමට ඇතුළු වීම තහනම් කරන ලෙස ද නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා සිටියා. 

අර්ජුන් ඇලෝසියස් බැදුම්කර කොමිසමට අසත්‍ය තොරතුරු ලබා දී ඇති බැවින් ඔහුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනුකළ හැකි බවයි පැමිණිල්ලේ නීතීඥවරුන් පවසා ඇත්තේ. 

මේ අතර අර්ජුන් ඇලෝසියස් 2015 වසරේ සිට භාවිත කළ සන්නිවේදන උපකරණ කොමිසමට භාර දෙන ලෙසටයි මීට පෙර නියෝග කර තිබුණේ. එහෙත් ඔහු භාර දී ඇත්තේ ඉකුත් මාස හයේ දී භාවිත කළ දුරකථනය පමණයි.