Saturday, July 27, 2024

General line - 0115112241

ජනවරම දූෂ්‍ය නොකර ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යවසනය නිමා කරන්න කාලයයි - අර්ජුන් කියන දේ




නීතිය සහ යුක්තිය ඉටු කිරීම සඳහා මහජනතාව ලබා දුන් ජනවරම දූෂ්‍ය නොකර ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ව්‍යවසනය නිමා කිරීමට කාලය එළැඹ ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ලිපියකින් දන්වා තිබෙනවා.

නීති විරෝධී, දූෂිත හා අදූරදර්ශී වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනස් කර ඒ සඳහා කොමිසමක් හෝ කමිටුවක් පත් කළ යුතු බවද  අමාත්‍ය අර්ජුන රණතුංග සිය ලිපියෙන් යෝජනා කර ඇත.

ලිපිය අද (28) මාධ්‍ය වෙත ලබා දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියේ ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී වූ සිදුවීම් තවදුරටත් වීමට ඉඩ නොතැබිය යුතු බවයි.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශය පැවැත්වූ ක්‍රිකට් නිළවරණයේදී ‍සභාපති ධුරයට තරග කිරීම සඳහා බහුතරයක් ඉල්ලීම් කරන අවස්ථාවේදී නීතියට ගරු කරමින් උප සභාපති ධුරයට පමණක් ඉදිරිපත් වීමට මා නාම යෝජනා ඉදිරිපත් කළේ ක්‍රිකට් ක්‍රීඩාව පත්වෙමින් තිබෙන විනාශයෙන් මුදවා ගැනීමට බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

එහෙත් අතීතයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරින් ක්‍රිකට් නිලවරණය පවත්වනු ලැබූයේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පණතේ ක්‍රීඩා සංගම් නියෝග, නියාමයන් පමණක් නොව ක්‍රිකට් ව්‍යවස්ථාවද අමු අමුවේ උල්ලංඝණය කරමින් බවත්, ක්‍රීඩා නීතිය අනුව ක්‍රීඩා ආම්පන්න වෙළදාමට, මාධ්‍ය ආයතනයවලට සහ සූදු ක්‍රීඩාවලට  සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අයවලුන්හට ජාතික සංගම්වල නිළතල දැරීමට නීතියෙන් බාධාවක්ව පවතින බවත් අර්ජුන රණතුංග පැවසුවා.

එමෙන්ම හිටපු ක්‍රීඩා ඇමතිවරුන් තිදෙනෙකුම සුමතිපාල ක්‍රිකට් සභාපති ධුරය දරන අවස්ථාවලදී ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටු පත් කර ඇති අතර එසේ තිබියදීත් පසුගිය ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා නීතිය ප්‍රකාරව ඔහුව ප්‍රතික්ෂේප කිරීමට වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් කටයුතු නොකිරීම බලවත් වරදක් බවත් රණතුංග කියා සිටියා.

මේ පිළිබඳ සියලු බලධාරින් දැනුවත් කර ඵලක් නොවූ හෙයින් අවසානයේ මානව හිමිකම් කොමිසමේ නීති සහාය පැතීමටද තමාට සිදුවු බව පැවසූ අමාත්‍යවරයා, මේ තත්ත්වය හමුවේ ක්‍රීඩාවේ නීතියේ ස්වාධිපත්‍ය ඇති කිරීම සඳහාත් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසාත් කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප සැමගේ යුතුකම හා වගකීම බව ද අගමැතිවරයාට ප්‍රමුඛ රජයට සිය ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ.