Friday, September 27, 2024

General line - 0115112241

"විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා." - විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් අධිකරණයේදී කතා කරයි

මාධව කුලසූරිය




ශිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන සිටින මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් අද (29) යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙනු ලැබුවා.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රසන් ශෂී මහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් ඉදිරියේදී නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වුණා.

එම අවස්ථාවේදී ස්විස් කුමාර පවසා ඇත්තේ,

" වෙලනෙයි ප්‍රදේශයේදී විදුලි කණුවක ගැට ගසා මිනිස්සු මට පහරදුන්නා... ඒ අවස්ථාවේ විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා." යනුවෙනි.

නඩු විභාගයට අදාළ පැමිණිළි පාර්ශ්වයේ හා රජයේ සාක්ෂි ලබාදීම අවසන්ව ඇති අතර, නඩුවට අදාළව විත්තිකරුවන්ගේ සාක්ෂි විමසීම ඊයේ (28) දිනයේ සිට ආරම්භ කරනු ලැබුවා.

නඩු විභාගයට අදාළව තවදුරටත් සාක්ෂි ලබා දෙමින් ස්විස් කුමාර් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ  “කයිට්ස් පොලිසිය මගේ මල්ලිව අත්අඩංගුවට ගෙන යාපනයට අරගෙන ගියා...මම මල්ලි බලන්න යන අතරමගදි වේලනෙයි ප්‍රදේශයේදී මිනිස්සු මාව අල්ලගෙන මාව ලයිට් කණුවක ගැට ගැහුවා. ඊට පස්සේ පහර දුන්නා... ඒ වෙලාවේ විජයකලා මැඩම් එතනට ආවා. ඇවිල්ලා ඔයා ශෂීගේ අයියාද කියලා ඇහුවා. එහෙම අහලා එතන හිටපු මිනිස්සුන්ට කිව්වා මෙයාට පහරදෙන්න එපා කියලා. එහෙම කියලා විජයකලා මැඩම් පැය දෙකක් විතර එතන හිටියා. පස්සේ මගේ ‍නෝනයි, මගේ අම්මයි එතනට ඇවිල්ලා මිනිස්සුන්ට කිව්වා මාව බේරන්න කියලා.” යනුවෙනි.

කයිට්ස් අධිකරණය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබු‍වේ විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය, විජයකලා මහේශ්වරන් සහයෝගය පළකොට ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ස්විස් කුමාර් නමැත්තාට පළා යාමට අවසර ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු දැක්වීම් මත විජයකලා මහේශ්වරන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රශ්න කරනු ලැබුවා.

අද දිනයේදී විත්තිකරුවන් වන පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයක්කුමාර්, පූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් සෂින්ද්‍රරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත් (පෙරියම්බි), පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස් කුමාර්) යන සැකකරුවන් 09 දෙනාද අධිකරණය හමුවට ඉදිරිපත් කොට සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම්, රජයේ නීතීඥවරුන් වන නිශාන්ත් නාගරත්නම්, ලක්සි ද සිල්වා සහ මාලිනී විග්නේෂ්වරන් පෙනී සිටියා.

සිද්ධියට සම්බන්ධ  01, 02, 03, 05 සහ 06 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සුරංග බාලසිංහ සහ නීතීඥ මහින්ද ජයවර්ධන ද, 05 වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපති පිල්ලේ ද, 04, 07, 08 සහ 09 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරන් ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ නීතීඥ විග්නරාජා ජයන්තා ද පෙනී සිටියා.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වැනි දින පාසල් ඇඳුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබුණා.

ඝාතනය සැළසුම් සහගතව සිදුකොට ඇති බැව් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කරනු ලැබ තිබෙනවා.