Sunday, September 8, 2024

General line - 0115112241

රට අනතුරකට ඇද දමමින් සිවාජිලිංගම් මානව හිමිකම් කවුන්සිලයේදී ෆොන්සේකාව පෙන්වයි




උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව අදහස් දැක්වීම පෙර සිට කරන ලද කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා මානව හිමිකම් කවුන්සිලයේ දී ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකා රජයේ හමුදා යුද අපරාධ සිදු කර ඇති බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන බවයි.

එබැවින් මේ සම්බන්ධ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව පවතින බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. 2015 වසරේ සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවලියට අදාළව ද මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවයි සිවාජිලිංගම් පළාත් සභා මන්ත‍්‍රීවරයා අවධාරණය කර ඇත්තේ. 

ඔහුගේ මෙම ප‍්‍රකාශය රටට ඉතා අහිතකර බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

මෙතෙක් ඔප්පු කර ගැනීමට නොහැකි වූ චෝදනා දැන් ඔප්පු කර ගැනීමට ජාත්‍යන්තරයට අවස්ථාවක් උදාවී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

සිවාජිලිංගම්ගේ ප‍්‍රකාශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අනතුරකට ඇද දමා ඇතැයි උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා සඳහන් කළා.