Sunday, September 8, 2024

General line - 0115112241

සිවාජිලිංගම්ගේ ප්‍රකාශයේ ලංකාවට අනතුරක් ඇති බව ප්‍රතිභා පෙන්වයි




ෆීල්ඞ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා සිදු කළ බව කියන ප‍්‍රකාශය හා එය පදනම් කර ගනිමින් උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ සාක්ෂි දීම, ශ‍්‍රී ලංකාවට අහිතකර ලෙස ඉදිරියේදී බලපානු ඇතැයි නීතිවේදින් පවසනවා.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා පැවසුවේ එම ප‍්‍රකාශය අසත්‍යයැයි ඔප්පු කිරීම දැන් අසීරු වනු ඇති බවයි. 

මේ හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි බලපෑම පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා. 

"දැන් වෙලා තියෙන දේ හැටියට යුද අපරාධ සිදු වෙලා තියෙන බවට ඇසින් දුටු සාක්ෂි තියෙනවා. වෙන කවුරුත් නෙමෙයි කියන්නේ...යුද්ධය මෙහෙයවූ නායකයෝ කියන්නේ.. 2015 වසරේ යෝජනා කළ අන්තර්ජාතික යුද අපරාධ පරීක්ෂණය මේ ප්‍රකාශයත් සමග අපරානුමත වෙනවා...තහවුරු වෙනවා. ඒ තැනට අපි විසින්ම අපිව තල්ලු කරගෙන තියෙනවා."

ජාත්‍යන්තර උගුලේ ශ‍්‍රී ලංකාව පැටලී ඇති බවද ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා පැවසුවා. 

සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා මානව හිමිකම් කවුන්සිලයේ දී ප‍්‍රකාශ කර තිබුණේ ශ‍්‍රී ලංකා රජයේ හමුදා යුද අපරාධ සිදු කර ඇති බවට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන බවයි. එබැවින් මේ සම්බන්ධ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව පවතින බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.